• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෑතකදී ඇතිවූ ආපදා තත්ත්වයන්හිදී විපතට පත් පුද්ගලයින්ට සහන සැලසීම: 2016-08-31 දිනට ප්‍රගතිය
- කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ, සාලාව යුද හමුදා කඳවුරේ 2016-06-05 දින සිදු වූ පිපිරීමෙන් හානියට පත් පුද්ගලයින්ට සහන සැලසීම, 2016 මැයි මස 10 සිට 17 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යෑමෙන් විපතට පත් පුද්ගලයින්ට සහන සැලසීම හා 2016 මැයි මස ඇති වූ ගංවතුර හා නාය යෑම් ආපදා තත්ත්වයන්ගෙන් හානියට පත් පුද්ගලයින්ට සහන සැලසීම සම්බන්ධයෙන් 2016 අගෝස්තු මස අවසානය වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ පහත සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

* සාලාව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ සිදු වූ පිපිරීමෙන් පීඩාවට පත්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත රුපියල් මිලියන 422.85ක ප්‍රතිපාදන මේ වන විට නිකුත් කරනු ලැබ ඇති අතර, නිවාස හානි වූ අය නැවත සිය නිවාසවල පදිංචියට යන තෙක් මසකට ගෙවනු ලබන දීමනාව හා හානියට පත් ස්වයං රැකියාලාභීන් සඳහා ලබා දෙනු ලබන දීමනාව ලබා දීමටද, නිවාස හානි සඳහා වන්දි ගෙවීමටද, එම ප්‍රතිපාදන වැය කරනු ලැබ ඇත.

* 2016 මැයි 10 සිට 17 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ නායයෑමෙන් පීඩාවට පත්, එම දිස්ත්‍රික්කයේ පවුල් 9,588ක පුද්ගලයින් 34,653ක් සඳහා සහන සැලසීම පිණිස කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත විවිධ අවස්ථාවලදී ප්‍රතිපාදන ලබා දී ඇති අතර, දැඩි අවදානම හේතුවෙන් නැවත පදිංචි කිරීමට නිර්දේශිත පවුල් සඳහා අවශ්‍ය නිවාස 145ක් පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ඉදි කර දීමට කටයුතු කෙරෙමින් පවතී.

* 2016 මැයි මස ඇති වූ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වයන් හේතුවෙන් විපතට පත් පවුල් 142,992ක පුද්ගලයින් 586,731ක් සඳහා සහන සැලසීම පිණිස ස්වාභාවික ආපදා සඳහා වන ජාතික රක්ෂණාවරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 586.79ක්ද, ජාතික රක්ෂණාවරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 149.02ක්ද, මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 111.21ක්ද සලසා දීමට කටයුතු කරනු ලැබ ඇත.