• Increase font size
  • Default font size
  • Decrease font size

2016-10-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමෙහි ලා වියළි කලාපයේ ගොවීන් ශක්තිමත් කිරීම
- දේශගුණික විපර්යාසය නිසා ඇතිවන උෂ්ණත්වය ඉහළ යාම්, වර්ෂාපතනයේ අසාමාන්‍ය වෙනස්වීම් මෙන්ම ඒ හා බැඳුණු දැඩි නියඟ සහ ගංවතුර වැනි උපද්‍රවයන්ට මුහුණ දීමට මෑත කාලයේදී ශ්‍රී ලංකාවට සිදුව ඇති අතර, මෙම ආපදාවලින් වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ වියළි කලාපයේ ග්‍රාමීය වාරි කර්මාන්ත මඟින් හා වර්ෂා ජලයෙන් ගොවිතැන් කරන ජනතාව වේ. එමෙන්ම වියළි කලාපයට තදින් බලපා ඇති නිදන්ගත වකුගඩු රෝගය, එම කලාපයේ දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 81ක ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීමක් පෙන්නුම් කරයි. ඒ අනුව, ග්‍රාමීය වාරි කර්මාන්ත වැඩි වශයෙන් දක්නට ලැබෙන සහ වකුගඩු රෝගය හා දරිද්‍රතාව දැඩිව ව්‍යාප්තව පවතින මල්වතු ඔය, යාන් ඔය සහ මී ඔය යන ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජලාධාර ප්‍රදේශ, ගෙවතු හා වාරි කර්මාන්තවල ඒකාබද්ධ සංවර්ධනයක් ඇති කිරීමත්, එකී ගංගා ද්‍රෝණි හා බැඳුණු අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවල පානීය ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා අදාළ ප්‍රදේශවල ප්‍රජා සහභාගිත්වය ඇතිව ආයතනික හා සංවිධාන ව්‍යූහයන් ශක්තිමත් කිරීමත් අරමුණු කරගනිමින් ඒකාබද්ධ ජල කළමනාකරණය මඟින් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ව්‍යාපෘතියක්, එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය (UNFCCC) යටතේ පිහිටුවා ඇති හරිත දේශගුණික අරමුදල (GCF) මඟින් ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් මිලියන 38.087ක ප්‍රදානය උපයෝගි කරගනිමින් 2017 වසරේ සිට වසර 07ක් තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.