• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'2017 - දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය' ප්‍රකාශයට පත් කිරීම
- 2015 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද මැතිවරණ ප්‍රකාශය මඟින් 'පතිරූප දේශයක් බිහි කිරීමට' ලබා දුන් ප්‍රතිඥාව අනුව සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව ජනතාව දිළිඳුකමින් මුදවා ගැනීම කෙරෙහි රජයෙහි සුවිශේෂ අවධානය යොමු වී ඇත. ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ හුදෙක් ආර්ථික වර්ධනය පමණක් ඉලක්ක කර නොගනිමින් සමාජ ආරක්ෂණය, ආදායම් බෙදීයාමේ විෂමතාව අවම කිරීම, විවිධ හේතූන් නිසා සමාජයේ කොන්වීමට ලක්වූ විවිධ ජන කොටස්, පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් පවතින සංවර්ධන විෂමතා යනාදී ක්ෂේත්‍රයන් කෙරෙහිද අවධානය යොමු කිරීම වැදගත් වේ. එබැවින්, රජය විසින් අනුගමනය කරනු ලබන ආර්ථික හා සමාජ ප්‍රතිපත්තිය තුළ ජනතාව දිළිඳුකමින් මුදවා ගැනීම හා ඊට අදාළ ක්ෂේත්‍රයන් කෙරෙහි ප්‍රමුඛතාවක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, ඒ සඳහා වන සාර්ව වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගනිමින්, සාමූහික ප්‍රවේශයකින් ක්‍රියා කිරීමට ප්‍රමුඛත්වය දෙමින් එළඹෙන 2017 වර්ෂය 'දිළිඳුකමින් නිදහස් කිරීමේ වර්ෂය' ලෙස ප්‍රකාශයට පත් කිරීමටත්, ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්ද, අදාළ අමාත්‍යවරුන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ හවුල්කාරිත්වයෙන්ද යුතු කමිටුවක් මඟින් මෙම වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.