• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව පැරිස් ගිවිසුම අපරානුමත කිරීම (Ratification of Paris Agreement)
- දේශගුණ විපර්යාසය සම්බන්ධයෙන් වන පැරිස් ගිවිසුමට (Paris Agreement) ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 178ක් විසින් 2016 අප්‍රේල් මස 02 දින එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අත්සන් තබන ලදී. කාර්මීකරණයට පෙර පැවති මට්ටමට සාපේක්ෂව ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය වැඩිවීම සෙල්සියස් අංශක 2කට වඩා අඩුවෙන් පවත්වා ගෙන යාම සහ සෙල්සියස් අංශක 1.5 නොඉක්මවීම සඳහා වන සෑම උත්සාහයක්ම දැරීම තුළින් දේශගුණ විපර්යාසවල බලපෑම හා අවදානම සැලකිය යුතු ලෙස අවම කිරීම එමඟින් අපේක්ෂා කෙරේ. දිගුකාලීන නියං තත්ත්වය, හදිසියේ ගංවතුර ඇතිවීම, මුහුදු මට්ටම ඉහළ යාම, නාය යෑම් සහ පහත්බිම් යටවීම වැනි දේශගුණික විපර්යාසයන්හි අහිතකර බලපෑම්වලට ගොදුරු විය හැකි දූපත් රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව එම ගිවිසුමෙහි පාර්ශ්වකරුවකු වීම වැදගත් වන අතර, ඒ අනුව, ශ්‍රී ලංකාව විසින් එකී පැරිස් ගිවිසුම අපරානුමත කිරීම පිණිස සහ ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.