• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සහ නින්දවූර් ප්‍රදේශ ආශ්‍රිතව සිදු වන වෙරළ ඛාදනය වැළැක්වීම
- අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් වරායට උතුරු දිගින් පිහිටි වෙරළ තීරයේ මීටර 550ක පමණ ප්‍රදේශයක සිදුවන උග්‍ර වෙරළ ඛාදනය වැළැක්වීම සම්බන්ධයෙන් දිගුකාලීන විසඳුම් සෙවීම හා ඉන් බලපෑමට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අධ්‍යයනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමාගේ යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇත. මෙම වෙරළ ප්‍රදේශයේ මීටර 150ක පමණ ප්‍රමාණයක සංරක්ෂණ කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇති අතර, මීටර 400ක පමණ ඉතිරි වෙරළ තීරය ඉතා ඉක්මනින් සංරක්ෂණය කළ යුතුව ඇත. දිගුකාලීන සංරක්ෂණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම සඳහා කල්ගත වන බැවින්, එතෙක් ක්ෂණික ක්‍රියාමාර්ග වශයෙන් වෙරළ තීරයේ බාධක වැලි කඳු ගොඩගැසීම, ගල්වැටි දැමීම ඇතුළු පිළියම් යෙදීමේ කාර්යයන් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.