• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සතු ගොවිපොළවල් රාජ්‍ය - පෞද්ගලික සහභාගිත්ව වැඩසටහන් යටතේ සංවර්ධනය කිරීම
- ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සතු භෝග හා සත්ත්ව පාලන ගොවිපොළවල් 31ක් දිවයින පුරා පිහිටා ඇති අතර, කුඩා ගොවිපොළවල් හිමි ගොවීන් සඳහා අවශ්‍ය අනුග්‍රහය ලබා දීමත්, ජාතික කිරි නිෂ්පාදනය, මාංශ නිෂ්පාදනය මෙන්ම බිත්තර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබා දීමත් මෙමඟින් සිදු වේ. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු, මධ්‍යම හා දකුණු පළාත්වල පිහිටි මහා පරිමාණ කිරි ගොවිපොළවල් 04ක් විශාල මුදලක් ආයෝජනය කරමින් සංවර්ධනය කරනු ලැබ ඇති නමුත් ඒ හා සමාන විභවයක් සහිත අනෙකුත් ගොවිපොළවල් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම දුෂ්කර වී ඇත. එබැවින්, එම ගොවිපොළවල් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කරමින් 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනත සංශෝධනය කිරීම පිණිස ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.