• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (CERA) ස්ථාපිත කිරීම
- ලෝක රොබෝ තාක්ෂණික වෙළඳපොළ 2020 වර්ෂය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 82.7ක මට්ටමට‍ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාව තුළ රොබෝ තාක්ෂණය සාපේක්ෂව ප්‍රාථමික මට්ටමක පැවතියද නැඟී එන ගෝලීය වෙළ‍ඳපොළ තුළ ශ්‍රී ලංකාවේ කර්මාන්තවල ඵලදායීත්වය හා තරගකාරිත්වය ඉහළ නැංවීමේදී එමඟින් සුවිශේෂ සහායක් ලබා ගත හැකි බව පෙනී ගොස් ඇත. රොබෝ තාක්ෂණය යොදා ගැනීම මඟින් ක්‍රියාවලීන් ස්වයංක්‍රීයකරණයට, ඵලදායීතාව ඉහළ නැංවීමට, ගුණාත්මකභාවය වැඩි කිරීමට සහ මිනිසුන් අතින් සිදුවන දෝෂ අඩු කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය ඇතිව 'රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානයක්' (Centre of Excellence in Robotic Applications - CERA) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.