• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විශේෂ තැන්පත් ගිණුම් පනත
- විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන එන විදේශීය පුද්ගලයන්ට (Foreign Individuals) නේවාසික වීසා ලබා දීම සඳහා 2016 අයවැය මඟින් යෝජනා කෙරුණු අතර, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස විශේෂ තැන්පත් ගිණුම් පනත හඳුන්වා දීම අවශ්‍ය වේ. යෝජිත විශේෂ තැන්පත් ගිණුම් පනත මඟින්, විශේෂ තැන්පත් ගිණුමක් හරහා ඇමරිකානු ඩොලර් 300,000ක් මෙරටට ප්‍රේෂණය කරන විදේශීය පුද්ගලයන්ට වසර 10ක නේවාසික වීසා ලබා දීමට විධිවිධාන සලසන අතර, ඒ සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 300,000ක ශේෂයක් වසර 10ක් තුළ විදේශ තැන්පත් ගිණුමේ පවත්වාගෙන යාම අවශ්‍ය වේ. මෙම විදේශීය පුද්ගලයන් විසින් රට තුළ සිදු කරනු ලබන වියදම් මඟින් හෝටල්, විනෝදාස්වාද, ප්‍රවාහන වැනි අපගේ නිෂ්පාදන හා සේවාවන් සඳහා ඉල්ලුමක් නිර්මාණය වනු ඇති අතර, සිය පෞද්ගලික විදේශීය ප්‍රාග්ධනය යොදා ගනිමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ කිරීමට ඔවුන් දිරිගැන්වීම තුළින් ශ්‍රී ලාංකිකයන් හට රැකියා අවස්ථාවන් මෙන්ම නව ව්‍යාපාර හවුල්කරුවන් සොයාගැනීමේ අවස්ථාවද හිමි වනු ඇත. මෙම විශේෂ වීසා හිමියන් හට ශ්‍රී ලංකාව තුළ රැකියාවන්හි නිරතවීම තහනම් කෙරෙනු ඇත. ඒ අනුව, යෝජිත විශේෂ තැන්පත් ගිණුම් පනත කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.