• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 මැයි 10 සිට 17 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයෑම් නිසා ජනතාවට සිදු වූ හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා
- 2016 මැයි 10 සිට 17 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් සිදු වූ නායයාම්වලින් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු එම දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විශාල වශයෙන් අලාභ හානි සිදු විය. එලෙස සිදු වූ නායයාම් හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ගණන 151ක් වන අතර, පවුල් 9,620කට අයත් 34,833ක ජනතාවක් එමඟින් පීඩාවට පත්විය. අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016‑06‑01 දින කෑගල්ල නගර ශාලාවේදී පවත්වන ලද විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන ලෙසට එතුමන් විසින් උපදෙස් ලබා දෙන ලදී. ඒ අනුව, ඉහත ආපදා තත්ත්වය හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදු වූ නිවාස 1,845 සම්බන්ධයෙන් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් හානි ප්‍රතිපූරණය කෙරෙන අතර, පූර්ණ වශයෙන් හානි සිදු වූ නිවාස 230ද ඇතුළුව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නැවත පදිංචි කිරීමට නිර්දේශ කරනු ලැබ ඇති නිවාස 1,682 වෙනුවෙන් රුපියල් මිලියන 2,018.4ක ඇස්තමේන්තුගත පිරිවැ‍යකින් නව නිවාස 1,682ක් ඉදි කිරීමටත්, තම පෞද්ගලික ඉඩම්වල නිවාස ඉදි කිරීමට යොමු වන නිවාසලාභීන්ට රුපියල් 400,000 බැගින් නිවාසලාභීන් 500ක් සඳහා රුපියල් මිලියන 200ක මුදලක් ලබා දීමටත්, නායයාමට ලක්වූ හා අධි අවදානම් ස්ථාන ලෙස හඳුනාගත් ප්‍රදේශ පදිංචිය සඳහා තහනම් කලාප ලෙස නම් කිරීමටත්, නිවාස ඉදි කිරීම්වලට අදාළ ආරක්ෂිත විධිවිධාන පිළිබඳ උපදෙස් ලබා දීමේ වගකීම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වෙත පැවරීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.