• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු අනුව කුණීත අන්ධභාවය (Corneal blindness), අන්ධභාවය සඳහා බලපාන හතරවන ප්‍රමුඛ හේතුව වේ. කුණීත (Corneal) බද්ධ කිරීම මඟින් නැවත පෙනීම ප්‍රතිස්ථාපනය කිරීමෙන් මෙම ආබාධය සුව කළ හැකිය. දැනට ලොව පුරා කුණීත අන්ධභාවයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවන අතර, ඉල්ලුමට සරිලන තරම් කුණීත සැපයීමක් නොමැති වීම කුණීත අන්ධභාවය තුරන් කිරීමට බාධාවක්ව පවතී. ශ්‍රී ලංකාවේ කුණීත අන්ධභාවය තුරන් කිරීම සඳහා සැලකිය යුතු භූමිකාවක් ජාතික අක්ෂි බැංකුව විසින් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පිළිගත් තත්ත්ව සහතිකයන්ද සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම අක්ෂි බැංකුව වන අතර, අක්ෂි පටක බද්ධ කිරීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම නොපිරිහෙළා අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට අවශ්‍ය තාක්ෂණික සහාය හා පුහුණු අවස්ථා ලබා දීම සඳහා 'ආසියානු කුණීත පදනම' සහ ලාභ අරමුණු කර නොගත් ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන 'සයිට්ලයිෆ්' (SightLife) ආයතනය ඉදිරිපත් වී සිටින අතර, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීමේ අරමුණින් එම ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.