• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම
- වන අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා දිගුකාලීන හා මධ්‍යකාලීන පියවර රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නමුත් එම සැලසුම් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. එබැවින් එම කාල සීමාව තුළ වන අලින්ගෙන් සිදු විය හැකි හානි අවම කරගැනීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. එසේම දිවියන් හා කිඹුලන් වැනි සත්ත්වයින්ගෙන් මිනිසුන්ට සිදු වන හානි මෙන්ම මිනිසුන්ගෙන් එවැනි සතුන්ට සිදු වන හානි අවම කරගැනීම සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. ඒ සඳහා වන කෙටිකාලීන පියවරක් වශයෙන් වනජීවීන් හා මිනිසුන් අතර ගැටුම් පිළිබඳ යම් සිදුවීමක් වාර්තා වූ සැණින් අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා එවැනි ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප ආවරණය වන පරිදි 'වනජීවී පාලන ඒකක' ස්ථාපිත කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශ පරිදි, නියමු ව්‍යාපෘතියක් වශයෙන් වනජීවී පාලන ඒකක 05ක් කඩිනමින් ස්ථාපිත කිරීමටත්, ඒවායේ ප්‍රගතිය මාස 06කින් විමසා බලා ඉතිරි ඒකක පිහිටුවීම පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමටත් වැඩබලන තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සුමේධා ජී. ජයසේන මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.