• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවා අංශයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය වෙතින් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඩොලර් ණය මාලාව
- ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 966ක පමණ වන ණය පහසුකම් දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, එම ණය පහසුකම් දකුණු සහ උතුරුදිග දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම සඳහාත්, දුම්රිය එන්ජින් හා ඩීසල් බලවේග කට්ටල මිල දී ගැනීම සඳහාත් යොදා ගනු ලැබ ඇත. ඉන්දියානු අගමැතිතුමා විසින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී මෙරට දුම්රිය සේවය වැඩිදියුණු කිරිම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. රටෙහි උතුරු හා දකුණු ප්‍රදේශ අතර කාර්යක්ෂම භාණ්ඩ හා මගී ප්‍රවාහනයක් සුරක්ෂිත කරමින් ආර්ථික ක්‍රියාකාරකම් දිරි ගැන්වීම සඳහා මහව සිට අනුරාධපුරය දක්වාද, අනුරාධපුරයේ සිට ඕමන්තෙයි දක්වාද වන දුම්රිය මාර්ග සංඥා පද්ධතියද වැඩිදියුණු කරමින් පුනරුත්ථාපනය කිරීම සඳහාත්, වායු සමීකරණය කරන ලද මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල ඒකක 06ක්, එන්ජින් 10ක්, තෙල් ප්‍රවාහනය කරනු ලබන ටැංකි සහිත වැගන් 30ක්, කන්ටේනර් රැගෙන යන වැගන් 20ක් සහ දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම සඳහාත් මෙම ණය මුදල යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ඉන්දියානු අපනයන - ආනයන බැංකුව (EXIM Bank of India)සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.