• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආණමඩුව පිහිටි කාර්මික විද්‍යාලය නැවත ස්ථාපිත කිරීම හා දියුණු කිරීම
- 'ගම් උදාව' වැඩසටහන යටතේ ඉදි කරන ලද ගොඩනැඟිලි කිහිපයක ඉතා සීමිත පහසුකම් යටතේ, 1993 වර්ෂයේදී ආණමඩුව කාර්මික විද්‍යාලය ස්ථාපිත කරන ලදී. වර්තමානය වන විට මෙම කාර්මික විද්‍යාලය මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් (NVQ) 3, 4 හා 5 යටතේ පුහුණු පාඨමාලා 13ක් ක්‍රියාත්මක කරනු ලබන අතර, එම පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව සිසුහු 250ක් පමණ බඳවා ගනු ලැබෙති. මෙහි පාඨමාලා හැදෑරීම සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙන නමුත්, පාඨමාලා ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් පන්ති කාමර, ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරතවිය හැකි ස්ථාන (වැඩහල්) සහ අනෙකුත් යටිතල පහසුකම් නොමැති වීම හේතුවෙන් වැඩි සිසුන් පිරිසකට පුහුණු අවස්ථා සලසා දීමට නොහැකි වී ඇත. එබැවින්, ආණමඩුව හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා ගුණාත්මක පුහුණු අවස්ථා සලසා දීම පිණිස මෙම කාර්මික විද්‍යාලය අවශ්‍ය යටිතල පහසුකම් සහිතව වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීම සුදුසු බව හඳුනාගෙන ඇත. ඒ අනුව, හලාවත - නවගත්තේගම ප්‍රධාන පාරට ආසන්න වඩක්කාරවැව ප්‍රදේශයේ පිහිටි අක්කර 4ක ඉඩමක, අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව ආණමඩුව කාර්මික විද්‍යාලය නැවත ස්ථාපිත කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.