• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2017 අයවැය පිළියෙල කිරීම
- රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මධ්‍යකාලීන ඉලක්ක වන රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය, ඉඩම් හිමිකම් සහතික කිරීම යන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, වසර 2030 වන විට ළඟා කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක 17 සපුරා ගැනීමට ද අවධානය යොමු කරමින්, රාජ්‍ය වියදම්වල කාර්යසාධනය පදනම් කරගත් 'කාර්යසාධන සංස්කෘතියක්' ඇති කරමින් ශුන්‍ය පාදක අයවැය ක්‍රමවේදයක් යටතේ, 2017 වර්ෂය සඳහා වන රජයේ අයවැය පිළියෙල කිරීමට අපේක්ෂා කෙරෙයි.

එහිදී 'විනිවිදභාවය' සහ 'වගවීම' යන යහපාලන මූලධර්ම සඳහා ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙමින් රාජ්‍ය අංශයේ මූල්‍ය විනය නැවත ඇති කිරීමට 2017 අයවැය යොදාගැනීමට අපේක්ෂිතය. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන්ම, ගෝලීය ආර්ථිකයෙහි නව ප්‍රවණතා මත විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම කෙරෙහි මෙන්ම විදේශ වෙළඳාම පුළුල් කිරීම කෙරෙහිද බලපෑම් ඇති විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති විය හැකි ආර්ථික වර්ධන ඉලක්ක පහත වැටීමේ අවදානමට මුහුණ දීම වළක්වා ගැනීම සඳහා රජයේ ආදායම් වැඩි කරගැනීමට සහ වඩාත් ඵලදායී රාජ්‍ය වියදම් දැරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි ප්‍රමුඛතාවන් වනු ඇත. එහිදී මුහුණ දීමට සිදු විය හැකි කෙටිකාලීන අසමතුලිතතා සහ මධ්‍යකාලීන අභියෝග සඳහා විසඳුම් ලබා දිය හැකි පුළුල් උපායමාර්ගයක් රජය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල්හි 2020දී අයවැය හිඟය 3.5ක මට්ටමකටත්, රාජ්‍ය ණය අනුපාතය 68ක මට්ටමකටත් ගෙන ඒම මධ්‍යකාලීන සාර්ව ආර්ථික ඉලක්ක වේ. එම ඉලක්ක සපුරා ගත හැකි වන පරිදි, 2017 වර්ෂයේදී 6%ක ආර්ථික වර්ධන වේගයක් අත් කරගැනීමටත්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%ක රාජ්‍ය ආයෝජනයක් සහතික කරමින් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.7%ක අයවැය හිඟයක් සහ අවම මට්ටමක උද්ධමනයක් හා සේවා වියුක්ති අනුපාතයක් පවත්වා ගැනීමටත් හැකි වන පරිදි, 2017 අයවැය පිළියෙල කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.