• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම
- දැනට ක්‍රියාත්මක වන 'පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ' සාර්ථකත්වය මත ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 60 ක අතිරේක සහන ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත. මෙම අරමුදල් රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති කාර්යයන් ලෙස හඳුනාගෙන ඇති, නිදන්ගත වකුගඩු රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල ජල සැපයුම් පද්ධති වැඩිදියුණු කිරීම මඟින් එම රෝග අවදානම අවම කිරීම, ප්‍රාදේශීය යටිතල පහසුකම් සහ මූලික සේවාවන් සැපයීම වැඩිදියුණු කිරීම සහ පළාත් පාලන ආයතනවල ප්‍රතිසංවිධාන කටයුතු කඩිනම් කිරීම හා එම ආයතනවල ධාරිතාව වර්ධනය කිරීම යන ක්ෂේත්‍රයන් ඉලක්ක කර ගනු ලබන ව්‍යාපෘති සඳහා යෙදවීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී ව්‍යාපෘති ක්‍රියාවට නංවමින් 'පළාත් පාලන ආයතන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය' තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සහන ණය මුදල ලබාගැනීමට ආසියානු සංවර්ධන බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.