• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය (අදියර 2)
- අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවගෙන් 85% ක් පමණ සෞඛ්‍යාරක්ෂිත නොවන මූලාශ්‍රයන්ගෙන් පානීය ජලය සපයා ගනු ලබන අතර, ඒ හේතුවෙන් විශේෂයෙන්ම, හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සංඛ්‍යාව, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්ට සාපේක්ෂව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයන් තුළ ඉහළ අගයක් ගනී. එවැනි රෝගීන් මෙන්ම ඔවුන්ගෙන් යැපෙන්නෝද ඉමහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙති. එබැවින් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව වෙත නළ ජල පහසුකම් සලසමින් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සපයා දීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. ඒ අනුව, අනුරාධපුරය උතුර ජලසම්පාදන ව්‍යාපෘතිය (අදියර 2) යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වාහල්කඩ ජලසම්පාදන යෝජනා ක්‍රමය මඟින් සෞඛ්‍යාරක්ෂිත නොවන භූගත ජල සැපයුම් මත යැපෙන පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයේ ජීවත් වන ජනතාව වෙත සෞඛ්‍යාරක්ෂිත පානීය ජල පහසුකම් ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් යෙන් මිලියන 23,137ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 32,169ක) සහන ණය මුදලක් ලබාගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.