• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
- 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වන වගන්තිය අනුව වසර මැද රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා විසින් අදාළ වර්ෂයේ ජුනි මස අවසානය වන විට මහජනතාවගේ දැනගැනීම සඳහාත්, ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ යුතු වේ. ඒ අනුව 2016 වර්ෂය සඳහා වන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර එම වාර්තාවේ අඩංගු අනෙකුත් තොරතුරු අතර පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්නා ලදී:

* දේශීය හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය, 2015 වර්ෂයේ පළමු කාර්තුව තුළ වාර්තා කරන ලද 4.4%ක වර්ධනයට‍ සාපේක්ෂව 2016 වර්ෂයේ පළමු කාර්තුවේදී 5.5%ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමට සමත්ව ඇත.

* සමාලෝචිත කාලපරිච්ඡේදයට අදාළව 2015 වසරේදී ලැබූ රාජ්‍ය ආදායම 2016 වසරේදී 19.5%කින් වර්ධනය වී ඇත.

* උද්ධමනය තවදුරටත් තනි අංකයක පවත්වා ගැනීමට හැකි වී ඇත.

* ජාත්‍යන්තර වෙළඳපොළේ අස්ථාවරත්වයන් මධ්‍යයේ සමස්ත අපනයන ආදායම 4.5%කින් අඩු වුවද, විදේශ ශ්‍රමික ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් මඟින් විදේශ විනිමය ගලා ඒම ඉහළ යාමත්, ආහාර පාන, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ප්‍රවාහන උපකරණ ආනයන වියදම සැලකිය යුතු ලෙස අඩුවීමත් හේතුවෙන් 2015 වසරේ එම කාලය සමඟ සැසඳීමේදී වෙළඳ හිඟය 2016 වසරේ මුල් මාස හතරේදී (04) 2.4%කින් අඩු වී ඇත.