• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩිජිටල් වාණිජ්‍යය සඳහා ගෙවීම් සිදු කිරීමේ ජාතික ක්‍රමයක් ස්ථාපිත කිරීම හා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීම
- වර්තමානයේදී මහජනතාව විසින් භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී යොදාගනු ලබන වඩාත් පහසුම ක්‍රමවේදය ‍වනුයේ වීසා, මාස්ටර්කාඩ්, ඇමරිකන් එක්ස්ප්‍රස් වැනි අන්තර්ජාතික ණය කාඩ්පත් භාවිත කිරීමය. එසේ වූවද එවැනි ගනුදෙනුවලදී අයකරනු ලබන ගාස්තු ක්‍රමයන් ඇතුළු විවිධ හේතු නිසා ශ්‍රී ලංකාව තුළ එකී කාඩ්පත් මඟින් ගෙවීම් සිදු කිරීම තවමත් සාපේක්ෂව අඩු මට්ටමක පවතියි. ගනුදෙනුවේ වටිනාකම වැඩිවීම මත අදාළ කාඩ්පත් ක්‍රමයන් විසින් අය කරනු ලබන ගාස්තුවද ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන මෙන්ම අනෙකුත් ව්‍යාපාරිකයින්ද එවැනි කාඩ්පත් භාවිතය සඳහා මැළිකමක් දක්වති. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද නිර්දේශ අධ්‍යයනය කරන ලද අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුව විසින් යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන, ව්‍යාපාර හා පුරවැසියන් සඳහා විද්‍යුත් වාණිජ්‍යය කටයුතුවලදී සහ විද්‍යුත් ගෙවීම්වලදී පහසුකම් සැලසීම පිණිස වන ක්‍රමවේදයක් වශයෙන් 'ජාතික ගෙවීම් තලය' (National Payment Platform) ස්ථාපිත කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.