• Increase font size
  • Default font size
  • Decrease font size

2016-07-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර පළාතේ, නිලාවේලිහි පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම
- දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් වෘත්තීය පුහුණුව අරමුණු කරගනිමින් විවිධ පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික වැඩමුළු ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා එම දෙපාර්තමේන්තුව සතු පුහුණු මධ්‍යස්ථාන හා බොරැල්ලේ පිහිටි ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය මඟින් ක්‍රියාත්මක කෙරේ. එහෙත් දෙපාර්තමේන්තුව මඟින් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පදිංචි ප්‍රතිලාභීන් සඳහා පැවැත්වනු ලබන පුහුණු වැඩමුළු හා දේශන කොළඹදී පැවැත්වීමට සිදු වීම නිසා ඊට සහභාගි වීමේදී ඔවුන් විවිධ ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දෙන අතර, ඔවුන්ට නේවාසික පහසුකම් සැපයීමේදී දෙපාර්තමේන්තුවද විවිධ ගැටලු වලට මුහුණ දෙයි. එබැවින් උතුරු හා නැ‍ඟෙනහිර පළාතේ ජීවත් වන දිවිනැගුම ප්‍රතිලාභී ජනතාව සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම පිණිස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, නිලාවේලිහි, ගෝපාලපුරම් ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල රජයේ තක්සේරු වටිනාකම වන රුපියල් මිලියන 126ක මුදලකට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.