• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සී/ස සීනෝර් පදනම මඟින් නිෂ්පාදනය කරනු ලබන ධීවර යාත්‍රා, මාළු පෙට්ටි (Fish Boxes) හා මසුන් ගොඩබෑමේ උපකරණ (Pellets) ඇතුළු ෆයිබර්ග්ලාස් ධීවර ආම්පන්න මිල දී ගැනීම
- මෙරට ධීවර කර්මාන්තයේ සංවර්ධනය සදහා අවශ්‍ය යෙදවුම් ලබා දීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, ධීවර යෙදවුම්වල මිල අධික බව නිසා ධීවර කර්මාන්තයේ නියැළීමට නොහැකි පිරිස් ධීවර කර්මාන්තය වෙත යොමු කිරීම, කාර්යක්ෂම, ඵලදායී හා පරිසර හිතකාමී පන්න ක්‍රම හඳුන්වා දීම, ආරක්ෂාකාරී යාත්‍රා හා ජීවිතාරක්ෂක උපකරණ සැපයීම, මුහුදේදී සිදු වන අනතුරු අවම කිරීම සහ පසු අස්වනු නාස්තිය අවම කිරීම එමඟින් අපේක්ෂා කෙරේ. රජය සතු සමාගමක් වන සී/ස සීනෝර් පදනම විසින් ධීවර කර්මාන්තයට යොදා ගැනෙන යාත්‍රා, ධීවර උපකරණ, පසු අස්වනු තාක්ෂණික උපකරණ ඇතුළු නිෂ්පාදන රැසක් සිදු කරනු ලබන අතර, රජය ඒ වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කරනු ලැබ ඇත. ඒ අනුව, ධීවර කර්මාන්තය සඳහා නව තාක්ෂණය හදුන්වා දීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් යටතේ බෙදා දීම පිණිස අනෙකුත් රාජ්‍ය ආයතන විසින් මිල දී ගනු ලබන ධීවර යාත්‍රා, ධීවර යෙදවුම් හා උපකරණ සී/ස සීනෝර් පදනම වෙතින් සෘජුව මිල දී ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.