• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැවීම හා ගොඩබාන මසුන්ගේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම උදෙසා ධීවර යාත්‍රා පද්ධතිය වැඩිදියුණු කිරීම
- ධීවර කර්මාන්තය සංවර්ධන කිරීම සඳහා රජය විසින් බොහෝ ප්‍රයත්නයන් දරනු ලැබුවද, අනන්‍ය ආර්ථික කලාපය තුළ ගැඹුරු මුහුදේ පවත්නා ධීවර සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට ශ්‍රී ලංකාවට මෙතෙක් හැකියාව ලැබී නොමැත. දැනට බහුදින ධීවර යාත්‍රා 4,000ක් පමණ ශ්‍රී ලංකාව සතු වන නමුත් ඉන් බහුතරය දිගින් අඩි 30 - 40ත් අතර ප්‍රමාණයේ කුඩා බහුදින යාත්‍රාවන් වීමත්, ඒ හේතුවෙන් ඒවායේ යාත්‍රා කළ හැකි දුර ප්‍රමාණය, ක්‍රියාකාරිත්ව කාල පරාසය සහ ගබඩා ධාරිතාව අඩු මට්ටමක පැවැතීමත් ඊට ප්‍රධාන හේතුව වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයේ ගැඹුරු ප්‍රදේශවල සහ ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතුවල නිරත වන යාත්‍රා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩි කාර්යක්ෂමතාවකින් හෙබි අඩි 55ක් දිගැති නවීන ධීවර යාත්‍රා 10ක් 50%ක රාජ්‍ය අනුග්‍රහය ඇතිව ධීවරයින්ට ලබා දීමටත්, අනන්‍ය ආර්ථික කලාපයේ මෙහෙයුම්වල යෙදෙන යාත්‍රා 50ක් සහ ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම්වල යෙදෙන යාත්‍රා 50ක් සීනෝර් ආයතනයේ සහාය ඇතිව අවශ්‍ය නවීන උපකරණ සහිතව වැඩිදියුණු කිරීමටත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.