• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවාවේ හදිසි ඇමතුම් ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා ගාස්තු අය නොකරන කෙටි ඇමතුම් දුරකථන අංකයක් ලබාගැනීම
- ශ්‍රී ලංකාවේ සිදුවන හදිසි රෝහල්ගතවීම් හා රෝහල්වලදී සිදු වන මරණවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් හදිසි අනතුරු හා හදිසි රෝගී තත්ත්වයන් නිසා සිදු වන අතර, එවැනි තත්ත්වයන්ට වැඩි වශයෙන් භාජනය වන්නේ ‍රටේ ආර්ථික කටයුතු හා සම්බන්ධ වී ක්‍රියා කරන ජනතාවයි. එවන් හදිසි අවස්ථාවකදී කෙටි කාලයක් තුළ කඩිනම් ප්‍රතිකාර ලබා දීමෙන් දරුණු සංකූලතා සිදුවීම, පූර්ණ ආබාධිත තත්ත්වයන්ට පත්වීම හා මරණයට පත්වීමට ඇති හැකියාව අඩුකර ගත හැකි වේ. ඒ සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ඉන්දියාවේ GVK EMRI ආයතනය සමඟ එක්ව පූර්ව රෝහල් හදිසි ගිලන්රථ සේවාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට නියමිතය. හදිසි අවස්ථාවකදී මෙම ගිලන්රථ සේවය සමඟ සම්බන්ධීකරණය සදහා හදිසි ඇමතුම් ප්‍රතිචාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතු අතර, ඒ සඳහා පහසුවෙන් මතක තබාගත හැකි, ගාස්තු රහිත දුරකථන අංකයක් වෙන් කිරීම වැදගත් වේ. ඒ අනුව, හදිසි ඇමතුම් ප්‍රතිචාර මධ්‍යස්ථානය සඳහා වෙන් කරනු ලැබ ඇති '1990' කෙටි ඇමතුම් අංකය සම්පූර්ණයෙන්ම ගාස්තු රහිත අංකයක් ලෙස ක්‍රියාත්මක කරවීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.