• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජකාරි වේලාවෙන් පසු රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ හදවත් සැත්කම් සිදු කිරීම
- උපතේදීම හදවතේ අසාමාන්‍ය තත්ත්වයන් සහිත දරුවන් 2,500ක් - 3,000ක් පමණ ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව උපත ලබන අතර, මොවුන් අතරින් 2,000කට පමණ ශල්‍යකර්ම සිදු කිරීම මඟින් ප්‍රතිකාර කළ යුතු වේ. මේ වන විට වාර්ෂිකව රෝගී දරුවන් 900ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ශල්‍යකර්මවලට භාජනය වන අතර, ශල්‍යකර්ම සුළු සංඛ්‍යාවක් පමණක් කරාපිටිය හා ශ්‍රී ජයවර්ධනපුර රෝහල්වලදී සිදු කෙරේ. එසේ නිසි කලට ශල්‍යකර්මවලට භාජනය කළ නොහැකි වන දරුවන් මරණයට පත්වීම හෝ යථා තත්ත්වයට පත් කළ නොහැකි සංකූලතාවන්ට ලක්වීම හෝ සිදුවේ. රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘද ශල්‍යකර්ම සිදු කිරීම සඳහා පවතින යටිතල පහසුකම්, නවීන වෛද්‍ය උපකරණ සහ විශේෂ පුහුණුව ලද කාර්යමණ්ඩලය මේ වන විට ඌන භාවිතයට ලක්ව ඇත්තේ සතියේ දිනවල සවස 4.00න් පසුව සහ සති අන්ත දිනවල අදාළ ශල්‍යකර්ම සිදු නොකිරීම හේතුවෙනි. පොරොත්තු ලේඛනවල සිටින රෝගී දරුවන්ට අදාළ සැත්කම් සිදු කිරීම කඩිනම් කිරීමේ අරමුණින් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ රාජකාරි වේලාවෙන් පසු හදවත් සැත්කම් සිදු කිරීම සඳහා පසුගිය වසරේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, අඩු වරප්‍රසාද සහිත දරුවන්ට ප්‍රතිකාර ලබා ගැනීමට උපකාර කරන, රොටරි සමාජය සහ අනුබද්ධ සංවිධානයක් වන ‘ගිෆ්ට් ඔෆ් ලයිෆ් ඉන්ටර්නැෂනල්’ සංවිධානය, එලෙස රාජකාරි වේලාවෙන් පසුව සිදු කරනු ලබන එක් හදවත් සැත්කමක් සඳහා ඇමරිකානු ඩොලර් 1,000ක් බැගින් අරමුදල් සපයනු ලබන අතර, එම අරමුදල් උපයෝගී කරගනිමින් රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ රාජකාරි වේලාවෙන් පසුව හදවත් සැත්කම් සිදු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.