• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සයිප්‍රසයේ නිකෝසියාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීම
- ශ්‍රී ලංකාව හා සයිප්‍රසය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා 1963 වසරේදී ස්ථාපිත කෙරුණු අතර, රෝමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සයිප්‍රසය සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා පත් කෙරිණි. ඊට අතිරේකව, සයිප්‍රසයේ අත්‍යවශ්‍ය කොන්සියුලර් හා කම්කරු ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකාව සඳහා වන නිර්වේතනික කොන්සල්වරයෙක්ද සිටී. සයිප්‍රසයේ දැනට සේවයේ නියුතු 20,000 - 25,000ක් අතර වන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රම බලකායේ සුබසාධන අවශ්‍යතා තහවුරු කිරීමට මෙන්ම රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම පිණිස නිකෝසියාහි වෘත්තීයමය කොන්සල් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත. ඒ අනුව, වෙළඳ, ආයෝජන, රැකියා හා අධ්‍යාපන අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම සයිප්‍රසයේ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එරට නිකෝසියා නගරයෙහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් ස්ථාපිත කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.