• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පුත්තලම පාලවිය ප්‍රදේශයේ පිහිටි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම
- ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් සමඟ මුළු රටම ඒකාබද්ධ කෙරෙන කාර්යක්ෂම අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන පද්ධතියක් පැවතීම රටකට වැදගත් වේ. කටුනායක හා මත්තල පිහිටි, ශ්‍රී ලංකාව සතු වර්තමාන ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් දෙකට අමතරව පළාත් 9න් 7ක් ආවරණය වන පරිදි අම්පාර, අනුරාධපුර, මඩකලපුව, හිඟුරක්ගොඩ, පලාලි, ඉරණමඩු, කොග්ගල, කටුකුරුන්ද, පාලවිය, රත්මලාන, සීගිරිය, ත්‍රිකුණාමලය, වීරවිල සහ වවුනියාව යන ස්ථානවල විවිධ ප්‍රමාණයේ අභ්‍යන්තර ගුවන්තොටුපළවල් 14ක් පිහිටා ඇත. බදුල්ල, මහනුවර හා පුත්තලම යන දිස්ත්‍රික්ක තුනෙහි, විශේෂයෙන්ම එම දිස්ත්‍රික්කවල සංචාරක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ නව අභ්‍යන්තර/දේශීය ගුවන්තොටුපළවල් තුනක් ස්ථාපනය කිරීමට 2016 අයවැය මඟින් ‍යෝජනා කර ඇත. එයට සමගාමීව, සංචාරක නිකේතනයක් බවට පත් වෙමින් තිබෙන කල්පිටිය ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 750ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, දැන‍ට භාවිතයට නොගන්නා පාලවිය ගුවන්තොටුපළ තවත් හෙක්ටයාර 26ක භූමි ප්‍රමාණයක්ද ඇතුළත් කර ගනිමින් සංවර්ධනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.