• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන අභ්‍යන්තර අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම
- 2016 වසරේ මාර්තු මාසය අවසන් වන විට ගැටුමෙන් පීඩාවට පත් අභ්‍යන්තර අවතැන් වූ පවුල් 251,000ක් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කරවනු ලැබ ඇත. එසේ වුවද එම පළාත්වල තවදුරටත් නැවත පදිංචි කළ යුතු පවුල් සංඛ්‍යාව 14,000කට අධික වේ. දැනට යාපනය දිස්ත්‍රික්කයේ තෙල්ලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි සුබසාධන මධ්‍යස්ථාන 31ක අවතැන් වූ පවුල් 1,109ක් රැඳී සිටින අතර, ඔවුන් අතරින් පවුල් 641ක් ඉඩම් අහිමි පවුල් බවට වාර්තා වී ඇත. එකී ඉඩම් අහිමි පවුල් නැවත පදිංචි කරවීම සඳහා කන්කසන්තුරේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමෙන් හෙක්ටයාර 65ක ඉඩම් කොටසක් යාපනයේ දිස්ත්‍රික් ලේකම් විසින් හඳුනාගනු ලැබ ඇත. යාපනය තෙල්ලිප්ප‍ෙලයි සුබසාධක මධ්‍යස්ථානවල වෙසෙන ඉඩම් අහිමි පවුල් 400ක් නැවත පදිංචි කරවීම සඳහා හඳුනා ගෙන ලැබ ඇති ඉහත සඳහන් ඉඩම නිදහස් කර ගෙන රජයට පවරා ගැනීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.