• Increase font size
  • Default font size
  • Decrease font size

2016-06-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වේයන්ගොඩ නගරයේ සිට වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දක්වා වන පිවිසුම් මාර්ගය ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කරගැනීම
- 2007 වර්ෂයේදී ආරම්භ කරන ලද වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ව්‍යාපාර ඒකක 70කින් හා ගබඩා 06කින් යුක්ත වන අතර, ප්‍රදේශයේ වෙළෙඳ හා පාරිභෝජක ප්‍රජාවට ඉතා වැදගත් වන ව්‍යාපාරික මධ්‍යස්ථානයකි. වේයන්ගොඩ නගරයේ සිට වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත දැනට තිබෙන පිවිසුම් මාර්ගය සැලකිය යුතු දුර ප්‍රමාණයකින් යුක්ත වන හෙයින් එම මධ්‍යස්ථානය වෙත පැමිණීමට පාරිභෝගිකයන් මැලිකමක් දක්වන අතර, ආර්ථික මධ්‍යස්ථානය අසලින් දිවෙන නිට්ටඹුව - කටුනායක ප්‍රධාන මාර්ගයෙන් එම මධ්‍යස්ථානයට ප්‍රවේශ මාර්ගයක් නොමැති බැවින්, එම මාර්ගය භාවිත කරන දඹුල්ල, වැලිමඩ, නුවරඑළිය වැනි විවිධ පළාත්වලින් එළවළු හා අනෙකුත් භාණ්ඩ රැගෙන එන ලොරිරථ හිමියෝ ද ඒ වෙත පැමිණීමට මැලිකමක් දක්වති. මෙම තත්ත්වය ආර්ථික මධ්‍යස්ථානයේ දියුණුවට අහිතකර ලෙස බලපා ඇති අතර, එම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා කටුනායක - නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට සෘජු ප්‍රවේශයක් ලබා දෙමින් ආර්ථික මධ්‍යස්ථානය වෙත ඉතා පහසු ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් එම ප්‍රදේශයේ පිහිටි පර්චස් 40ක භූමි ප්‍රමාණය ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට වෙන් කර දීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.