• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිවයින පුරා උද්ගත වී ඇති හදිසි ආපදා තත්ත්වය සඳහා සහන සැලසීම
- පසුගිය දිනවල දිවයිනට බලපෑ අධික වැසි, සුළං සහ නාය යෑම් තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපෑ ඇත. එම තත්ත්වය හමුවේ 2016-05-16 දින වන විට වාර්තා වී ඇති පරිදි පවුල් 31,062ක සාමාජිකයින් 128,428ක් විපතට පත්ව ඇති අතර, ඒ හේතුවෙන් කිහිපදෙනෙකු මිය ගොස් තවත් කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බවට ද වාර්තා වී ඇත. එසේම නිවාස 12ක් සම්පූර්ණ වශයෙන් ද නිවාස 201 ක් අර්ධ වශයෙන් ද හානි වී ඇති බවට වාර්තා වී ඇත. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් දිවයින පුරා ස්ථාපිත කර ඇති සුබසාධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 104ක් වන අතර, එම මධ්‍යස්ථානවල පවුල් 16,968කට අයත් පුද්ගලයෝ 77,265ක් රැඳී සිටිති. එම පිරිස් සඳහා පිසූ ආහාර ඇතුළු අවශ්‍ය පහසුකම් ලබා දීම මේ වන විටත් ආරම්භ කර ඇත.

2016-04-01 දින සිට ක්‍රියාත්මක වන ස්වාභාවික ආපදා සඳහා වූ ජාතික රක්ෂණාවරණ වැඩසටහන යටතේ රුපියල් මිලියන 20ක මුදල් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ලබා දී ඇති අතර, ආපදාවන් පවතින දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ඉල්ලීම පරිදි සහන ලබා දීමට අවශ්‍ය මුදල් බෙදා දීමේ කටයුතු ද ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ අනුව, හදිසි ආපදා තත්ත්වයකදී පිසූ ආහාර සඳහා එක් අ‍යෙකුට දෛනිකව දැනට ලබා දෙන රුපියල් 150/-ක මුදල, රුපියල් 225/- දක්වා වැඩි කිරීම‍ටත්, ක්ෂණික ආපදා සහන සේවා සැපයීමේදී රක්ෂණ ක්‍රමය යටතේ දැනට ආවරණය නොවන කාරණා සම්බන්ධයෙන් සහන සැලසීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.