• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිවාස අවශ්‍යතා පිළිබඳ දත්ත රැස් කිරීම
- ශ්‍රී ලංකාවේ මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන ජාතික නිවාස අවශ්‍යතාව සැපිරීමෙහි ලා ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත දීර්ඝකාලීන වැඩසටහනක් සැකසීමට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබයි. එහිදී, ශ්‍රී ලංකාවේ නිවාස අවශ්‍යතාව පිළිබඳ නිවැරදි හා යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගැනීම අත්‍යවශ්‍ය වේ. 2012 ජන හා නිවාස සංගණනය සිදු කර වසර 05 කට ආසන්න කාලයක් ගත වී ඇති හෙයින් වර්තමාන නිවාස අවශ්‍යතාව නිවැරදිව හඳුනාගැනීම පිණිස දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය මට්ටමින් නිවාස පිළිබඳව සමීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතුව ඇත. ඒ අනුව, 2025 වර්ෂය වන විට ශ්‍රී ලංකාවේ සියලු නිවාස අවශ්‍යතාවන් සපුරා ලීමේ අරමුණින් නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබීමට නියමිත ජාතික නිවාස වැඩසටහන සැලසුම් කිරීම සඳහා අවශ්‍ය නිවැරදි හා යාවත්කාලීන කරන ලද තොරතුරු/දත්ත ප්‍රාදේශීය මට්ටමින් ලබාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ප්‍රමුඛ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටම්වල රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබාගැනීම පිණිස නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.