• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර කලාපීය මහා නගරයෙහි පුළුල් ප්‍රවාහන කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම
- ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ වර්තමානයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් අවම කිරීම සඳහා, විශේෂයෙන්ම බස්නාහිර කලාපය තුළ පවතින රථවාහන තදබදය අඩු කිරීම පිණිස කඩිනම් විසඳුම් ලබා දීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇත. එහිදී කෙටිකාලීන මැදිහත්වීම් මෙන්ම මැදිකාලීන හා දිගුකාලීන පදනමින් ක්‍රියාවට නැංවිය යුතු නව තාක්ෂණය හඳුන්වා දීම වැනි අනෙකුත් ප්‍රධාන මැදිහත්වීම්ද සිදු කළ යුතුව ඇත. ඒ අනුව බස්නාහිර කලාපීය මහා නගර සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත ප්‍රවාහන සැලැස්ම මඟින් නම්‍යශීලී හා ඒ ඒ ආයතනවලට වෙන්වූ කාර්යාල වේලාවන් හඳුන්වා දීම, රථවාහන ගාල් කිරීම සඳහා අලුතින් ස්ථාන හඳුන්වා දීම, ආලෝක සංඥා පද්ධති යාවත්කාලීන කිරීම, වැඩි ඉඩකඩ සහිතව මංසන්ධි වැඩිදියුණු කිරීම, පාසල් හා කාර්යාල ප්‍රවාහන සේවා විධිමත් කිරීම, පොදු බස්රථ සේවාව ප්‍රතිව්‍යූහගත කිරීම, බස්රථවල ගුණාත්මකභාවය හා සේවාවන් නවීකරණය හා වැඩිදියුණු කිරීම, බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන ඇති කිරීම, දුම්රිය විද්‍යුත්කරණය හා නවීකරණය, අභ්‍යන්තර ජල මාර්ග ප්‍රවාහනය සඳහා යොදා ගැනීම, මහාමාර්ග වැඩිදියුණු කිරීම වැනි පියවරයන් රාශියක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඒ අනුව, බස්නාහිර කලාපීය මහා නගර වැඩසටහනෙහි ප්‍රවාහන මහා සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහත සඳහන් යෝජිත ක්‍රියාකාරකම්, ව්‍යාපෘති හා ශක්‍යතා අධ්‍යයනයන් අදාළ රේඛීය අමාත්‍යාංශ හා අනෙකුත් ආයතන සමඟ සම්බන්ධ වෙමින් ක්‍රියාක්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ඉදිරි පියවර ගැනීම අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.