• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය (Asia Institute for Science of Technology- AIST) ස්ථාපිත කිරීම
- අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා ඉදිරිපත් වන මෙරට සිසුන්ගෙන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනෙනුයේ 22% කට ආසන්න ප්‍රමාණයක් බැවින් උසස් අධ්‍යාපන අවස්ථා අපේක්ෂාවෙන් සිසුහු විශාල සංඛ්‍යාවක් වාර්ෂිකව විදෙස්ගත වෙති. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැවත මෙරටට නොපැමිණෙති. එකී පසුබිම තුළ ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ටද අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් විදේශ විනිමය ඉපැයිය හැකි උසස් අධ්‍යාපන ආයතනයක් 'තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය' (Asia Institute for Science of Technology- AIST) නමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජනයක් වශයෙන් ස්ථාපිත කිරීමට අදහස් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන හවුල්කරුවකු වන ජපානය මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීම සඳහා ඉදිරිපත්ව සිටියි. AIST ආයතනය ආශ්‍රිතව 2025 වසර වන විට 'තාක්ෂණ ගම්මානයක්' ස්ථාපනය කිරීමට අපේක්ෂිත අතර, ජපාන කාර්මික හවුල්කරුවන්ට සිය නිෂ්පාදන, පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ආදිය එහි පිහිටුවීමට ඇරුයුම් කෙරෙනු ඇත. නිනිති (NANO) තාක්ෂණය, විදුලි සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, විදුලි සංදේශනය, රොබෝ විද්‍යාව ආදී ක්ෂේත්‍ර ඇතුළත්ව කාර්මික අංශයේ රැකියා වෙළඳපොළ වෙත ප්‍රවිෂ්ට විය හැකි වන පරිදි මෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට විශේෂිත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර කලාපීය මහානගර ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීමට යෝජිත විද්‍යා හා තාක්ෂණ නගරය සඳහා සැලසුම් කර ඇති මාලඹේ ප්‍රදේශයේ අක්කර 100කට ආසන්න භූමිභාගයක් තුළ යෝජිත 'තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය (AIST)' ස්ථාපිත කිරීමට හා ජපාන රජය ඇතුළු අනෙකුත් ප්‍රදාන ආයතනවලින් අදාළ තාක්ෂණික හා මූල්‍යමය ආධාර ලබාගැනීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.