• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රතිදීප්ත පහන් (Fluorescent Lamps) සහ තුලබරු (Choke) සඳහා බලශක්ති කාර්යසාධන නව ප්‍රමිති සහ බලශක්ති ලේබල හඳුන්වා දීම
- කාර්මික හා වාණිජ අංශවල දියුණුවත්, ග්‍රාමිය ප්‍රදේශවලට විදුලි ජාලය ව්‍යාප්ත කිරීම මඟින් රට තුළ 100%ක විදුලි සැපයුමක් ලබා දීමත් සමඟ මෙරට විදුලිබල ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. වර්තමානය වන විට රටෙහි මුළු විදුලි පරිභෝජනයෙන් පිළිවෙළින් 37%ක් සහ 27%ක් ගෘහස්ථ හා ව්‍යාපාරික අංශ විසින් පරිභෝජනය කරනු ලබයි. එම දෙයංශයෙහිම විදුලි පරිභෝජනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් (30%ක් පමණ) ද්විත්ව විලි සහිත නළාකාර ප්‍රතිදීප්ත පහන් (Double capped Tubular Florescent Lamps) සහ තුලබරු (Choke) සඳහා වැය වේ. බලශක්ති කාර්යසාධන ප්‍රමිති හඳුන්වා දී ඉහළ බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුතු ද්විත්ව විලි සහිත නළාකාර ප්‍රතිදීප්ත පහන් සහ තුලබරු ආනයනය කිරීමට සහ මෙරට නිෂ්පාදනය කිරීමට අනුබල දීම තුළින් වාර්ෂිකව ගිගාවොට් පැය 85ක විදුලි ප්‍රමාණයක් රටට ඉතිරි කර ගත හැකි බවට ඇස්තමේන්තුගත කර ඇත. ඒ අනුව, බලශක්ති කාර්යසාධන ප්‍රමිති මහජනතාවගේ දැනගැනීම සඳහා නිරූපණය කිරීම අනිවාර්ය කරමින් ද්විත්ව විලි සහිත නළාකාර ප්‍රතිදීප්ත පහන්වල සහ තුලබරුවල ගුණාත්මකභාවය නියාමනය කිරීම පිණිස 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ විධිවිධාන යටතේ ඇමතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බලශක්ති ලේබල නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, එම නියෝග අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.