• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇඟලුම් ආශ්‍රිත කුඩා පරිමාණ කර්මාන්තශාලා ඔස්සේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම
- කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශ වීම දිරිමත් කිරීමත්, ග්‍රාමීය කාන්තාවන් සඳහා රැකියා අවස්ථා සලසා දීමත් කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ග්‍රාමීය කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන මඟින් අපේක්ෂා කෙරේ. මෙහිදී අවතැන් වූ පවුල්වල කාන්තාවන් සහ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත් වූ කාන්තාවන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් විනිවිද පෙනෙන ක්‍රමවේදයක් මඟින් තෝරාගැනුණු ග්‍රාමීය කාන්තාවන් සඳහා ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් යටතේ ඇඳුම් මැසීම පිළිබඳ සුදුසුකම් ලත් පුහුණුකරුවන් විසින් ඇඳුම් මැසීම පිළිබඳ පුහුණුව ලබා දෙනු ඇති අතර, ව්‍යවසායකත්ව සංවර්ධනය හා පුහුණුව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් ලබා දෙනු ඇත. එ‍සේම ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ ජාතික ශිල්ප සභාව විසින් අවශ්‍ය මෝස්තර සහාය සහ පුහුණුව ලබා දෙනු ඇත. එලෙස නිෂ්පාදනය කරනු ලබන ඇඟලුම් අලෙවි කිරීමේ කටයුතු ජාතික මට්ටමේ ගැනුම්කරුවන් හා අපනයනකරුවන් ප්‍රාදේශීය මට්ටම හා සම්බන්ධ කරමින් සිදු කෙරෙනු ඇත. නැ‍ඟෙනහිර හා ඌව පළාත් ඇතුළු තෝරාගත් දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජිතය. ඒ අනුව, මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, පුහුණුව අවසන් කරනු ලබන කාන්තාවන් සංවිධානයට කර පළමු අදියර වශයෙන් 2016 වර්ෂය තුළ සමුපකාර/හවුල් ව්‍යාපාර මාදිලියේ කුඩා ඇඟලුම් කම්හල් 150ක් පිහිටුවීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.