• Increase font size
  • Default font size
  • Decrease font size

2016-05-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වවුනියාව කාර්මික විද්‍යාලය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
- නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත්, වවුනියාව දිස්ත්‍රික්කයේ ස්ථාපනය කර ඇති කාර්මික විද්‍යාලය මඟින් තරුණ-තරුණියන් සඳහා කාර්මික පුහුණු පාඨමාලා දහනවයක් (19) ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව සිසුහු 500 ක් පමණ බඳවාගනු ලැබෙති. මෙම කාර්මික විද්‍යාලය තුළ දැනට පවතින ඉඩකඩ සහ අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් මට්ටමක නොපවතින අතර, ඒ අනුව එම විද්‍යාලය සඳහා දේශන ශාලා, ප්‍ර‍ායෝගික ක්‍රියාකාරකම් සඳහා වූ ගොඩනැඟිලි, නිලධාරි නිල නිවාස, පරිගණක විද්‍යාගාර, පුස්තකාලයක් සහ ජල ටැංකියක් ඇතුළු අනෙකුත් යටිතල පහසුකම්වලින් සමන්විත ‍ෙගාඩනැඟිලි සංකීර්ණයක් රුපියල් මිලියන 114ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, රුපියල් මිලියන 04ක ඇස්තමේන්තුගත පිරිවැයකින් කාර්යමණ්ඩල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.