• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන 2016 ක්‍රියාත්මක කිරීම
- ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හා ජීව‍නෝපාය වැඩිදියුණු කිරීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ යැයි එම ප්‍රදේශවල ජනතාව විසින් තීරණය කරනු ලබන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස ග්‍රාම නිලධාරි කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 10ක් බැගින් ලබා දීම සඳහා 2016 අයවැය මඟින් යෝජනා කරන ලදී. එම යෝජනාව පරිදි අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දී ඇත. ඒ අනුව ග්‍රාම සේවා කොට්ඨාසයක් සඳහා ග්‍රාමීය යටිතල සංවර්ධන වැඩසටහන් 2 ත් 5 ත් අතර ප්‍රමාණයක්, ග්‍රාමීය ප්‍රජා සංවිධානවල නායකයින් ඇතුළත් කමිටුවක් මඟින් හඳුනා ගත යුතු අතර ඒ යටතේ ප්‍රජා ජලසම්පාදන ව්‍යාපෘති, පානීය ජලය සැපයීම, කුඩා පරිමාණයේ විදුලි ජනන ව්‍යාපෘති, ග්‍රාමීය මාර්ග, පාලම්, බෝක්කු, සපත්තු පාලම් ආදිය ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම, ඇළ මාර්ග, අමුණු, වැව්, වගා ළිං යනාදි කෘෂිකාර්මික කටයුතුවලට අදාළ වන කුඩා පරිමාණ වාරිමාර්ග කටයුතු සහ ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු වේ. මෙම වැඩසටහන 2016 ඔක්තෝබර් මස 31 දින වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ තොරතුරු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.