• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීම - 2016 ඔක්තෝබර් 12 සහ 13
- එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නියෝජිතායතනයක් වන ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රයේ (ITC) ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහන වනුයේ වාර්ෂිකව පැවැත්වෙන ලෝක අපනයන සංවර්ධන සමුළුවයි. එය ලොව පුරා සිටින ජාත්‍යන්තර වෙළඳාමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පවත්වනු ලබයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එකී ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය ඒකාබද්ධව 16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව 'සාර්ථකත්වය සඳහා වෙළඳාම: සම්බන්ධ වීම, තරග කිරීම, වෙනස් වීම' යන තේමාව යටතේ 2016 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇත. ජාත්‍යන්තර වෙළෙඳාම කෙරෙහි මෙරට තිබෙන විවෘතභාවය සහ ඒ ස‍ඳහා පවතින හිතකර ව්‍යාපාරික පරිසරය මතු කර පෙන්වීමට මෙම සමුළුව දායක වනු ඇත. ඒ අනුව ජාත්‍යන්තර වෙළඳ කේන්ද්‍රයේ මූල්‍ය දායකත්වයද සහිතව 2016 ලෝක අපනයන සංවර්ධන සමුළුවෙහි සත්කාරකත්වය ශ්‍රි ලංකාව විසින් දැරීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.