• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ව්‍යවසාය ආයතනයන් සඳහා සභාපතිව‍රුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීමේදී පාදක කරගත යුතු නිර්ණායක-
- පැහැදිලිව හඳුනාගත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් නොමැති වීම, ඉහළ කළමනාකාරිත්වය තුළ තීරණ ගැනීමේ දුර්වලතාව, වෙළෙඳපොළ තරගකාරිත්වයන් නොසලකා තීරණ ගැනීම, පත්කිරීම් සඳහා දේශපාලනඥයන් මැදිහත් වීම, දේශපාලන පක්ෂයන්හි අරමුණු ඉටු කිරීමට උත්සාහ කිරීම හා කළමනාකාරිත්වය සඳහා පුද්ගලයින් පත් කිරීමේදී විධිමත් මාර්ගෝපදේශ නොමැති වීම යන කරුණු රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යසාධනය අඩු වීමට හේතු වී ඇත. එබැවින් රාජ්‍ය ව්‍යවසායන්හි කළමනාකාරිත්වය හා මෙහෙයුම් නියමානුකූල කිරීම උදෙසා රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීමේදී විධිමත් හා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් අනුගමනය කිරීම කාලීන අවශ්‍යතාවකි. ඒ අනුව, රාජ්‍ය ව්‍යවසායන් සහ වෙනත් විශේෂිත ආයතනයන්හි සභාපති/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ප්‍රධාන විධායක නිලධාරීන් පත් කිරීමේදී ඉදිරිපත් කරනු ලබන නාමයෝජනාවන්හි යෝග්‍යතාව පරීක්ෂා කර නිර්දේශ කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත් කරනු ලැබ ඇති අතර, එකී කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති, එවැනි පත් කිරීම් සඳහා අදාළ කරගනු ලැබීමට යෝජිත වෘත්තීය හා කළමනාකරණ අත්දැකීම්, උපරිම වයස් සීමා, ධුර කාලය හා ධුරය දැරීමේ වාරයන්හි සීමා, බැඳියාවන් අතර ගැටුම් වැළැක්වීම සඳහා වූ විධිවිධාන, නුසුදුසුකම් ආදිය ඇතුළත් නිර්ණායක අදාළ කරගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.