• Increase font size
  • Default font size
  • Decrease font size

2016-04-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"බෞද්ධ පුනරුද අරමුදල" පිහිටුවීම
- ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන 12,150ක් පමණ ඇති අතර, එයින් 750ක පමණ පිරිවෙන් පවත්වාගෙන යනු ලැබේ. එසේම ආරණ්‍ය සේනාසන 150ක් පමණද දිවයින පුරා ව්‍යාප්තව පවතී. බුදුදහම හා බැඳුණු සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරගැනීමටද පිරිවෙන් අධ්‍යාපනය මඟින් පැවිදි හා ගිහි දැනුම ප්‍රවර්ධනයටද මෙම විහාරස්ථාන මඟින් අමිල සේවයක් ඉටු වේ. විහාරස්ථාන හා පිරිවෙන් ආශ්‍රිතව පවතින ගැටලු හේතුවෙන් විහාරවාසී භික්ෂූන්වහන්සේලා සිය සමාජ මෙහෙවර ඉටු කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර, බොහෝ විට එම කටයුතුවලදී වර්තමානයේ දැරීමට සිදු වන ඇතැම් වියදම් විහාරස්ථානවලට දැරිය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. විහාරස්ථාන හා පිරිවෙන්වල අවශ්‍යතා සපුරා දෙමින් භෞතික සම්පත් කළමනාකරණයට බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යාංශය සැලකිය යුතු දායකත්වයක් දැක්වුවද එය වාර්ෂික අයවැය ඇස්තමේන්තු ප්‍රතිපාදනවලට සීමා වේ. දුෂ්කර ප්‍රදේශවල ඇති බොහෝ විහාරස්ථානවලට දානපතීන්ගේ පරිත්‍යාග වැනි වරප්‍රසාද ලැබීමද විරලය. ඉහත ගැටලු විසඳීමට රජයෙන් ලබා දෙන සෘජු දායකත්වයට අමතරව ගරුතර සංඝයාවහන්සේ විසින් යෝජනා කර ඇති පරිදි විවිධ ආදායම් හා පරිත්‍යාග උපයෝගී කරගනිමින් 'බෞද්ධ පුනරුද අරමුදල' නමින් විධිමත් අරමුදලක් ස්ථාපනය කර එමඟින් පොදු ප්‍රතිපත්තියක් අනුව බෞද්ධ ආගමික සිද්ධස්ථාන තෝරා ගනිමින් පහසුකම් සැලසීම සඳහා ප්‍රතිපාදන ලබා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.