• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගම් උදාව වැඩසටහන යළි ආරම්භ කිරීම
- දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙසෙන දිළිඳු හා අවවරප්‍රසාදිත ජනතාව වෙත ළඟා වී ඔවුන්ගේ ජීවිත හා ජීවන තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා 1980 දශකයේදී සාර්ථකව දියත් කරන ලද 'ගම් උදාව' වැඩසටහන ජනතාවගේ භෞතික, මානසික, සමාජයීය හා අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා නිවහන මූලික වන්නේය යන මූලධර්මය මත පදනම්ව ක්‍රියාත්මක විය. කෙසේ වුවද, 1990 දශකයේ මැද භාගයේදී මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම නතර විය. මානව ජනාවාස සංවර්ධනය වටා ගොඩනැඟුණු මෙම ඒකාබද්ධ සංවර්ධන ප්‍රයත්නය හා ඊට අනුබද්ධිතව පැවැත්වූ ගම් උදාව ප්‍රදර්ශනය මෙම වසරේ සිට මැතිවරණ කොට්ඨාස කිහිපයක් ආවරණය කරමින් ප්‍රාදේශීය මට්ටමින් නැවත දියත් කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.