• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ නගර මධ්‍ය සංවර්ධන සැලැස්ම - හොරණ බස් නැවතුම්පළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර -II ක්‍රියාත්මක කිරීම
- නාගරික සංවර්ධන අධිකාරිය විසින් හොරණ නගරය සඳහා සකස් කරනු ලැබ ඇති සංවර්ධන සැලැස්ම තුළින් යටිතල පහසුකම් ප්‍ර‍මාණවත් නොවීම, මාර්ග තදබදය හා අවිධිමත් ඉඩම් පරිහරණ යන ගැටලු මෙන්ම නගරයේ සංවර්ධනය සඳහා වන මූලික අවශ්‍යතාද හඳුනා ගනු ලැබ තිබේ. නගරයට පැමිණෙන සහ නගරයෙන් පිටවන බස් රථ සඳහා අවශ්‍ය නැවතුම් ඉඩකඩ සැපයීම හා නගරයට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස පවත්නා බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම නගරයේ මධ්‍ය ව්‍යාපාරික ප්‍රදේශය වැඩිදියුණු කිරීමෙහිලා අත්‍යවශ්‍ය වේ. මෙම බස් නැවතුම්පොළ සංවර්ධන ව්‍යාපෘතියෙහි අදියර I හි වැඩ කටයුතු දැනටමත් අවසන් කරනු ලැබ ඇති අතර, කුඩා කඩ කාමර, සනීපාරක්ෂක පහසුකම්, බස් මගී වේදිකා ඉදි කිරීම හා ප්‍රවේශ මාර්ගය සකස් කිරීම ඇතුළු හොරණ බස් නැවතුම්පළ සංවර්ධන ව්‍යාපෘතියෙහි අදියර II හි ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන 182 ක වියදමකින් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.