• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පිබිදෙමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016 - 2020) යටතේ ක්‍රියාත්මක කෙ‍ෙරන කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
- පොළොන්නරුව හා ඊට යාබද දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවගේ ජන ජීවිතය ඉහළ නැංවීම සඳහා ක්‍රියාවට නංවනු ලබන සංවර්ධන ව්‍යාපෘති ඇතුළත් 'පිබිදෙමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (2016- 2020) පස් අවුරුදු සැලැස්ම යටතේ යෝජිත ප්‍ර‍මුඛ සහ අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස කුරුණෑගල සිට හබරණ හරහා දඹුල්ල දක්වා කිලෝ මීටර 80 ක දිගින් යුතු දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය හඳුනා ගනු ලැබ තිබේ. නැ‍ඟෙනහිර සහ උතුරු මැද පළාත්වල ජනතාව සඳහා ආරක්ෂාකාරී සහ ඉක්මන් ප්‍ර‍වාහන සේවාවක් සැපයීමත්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දුම්රිය මාර්ග ජාලයට සම්බන්ධ කරගැනීම මඟින් ප්‍රාදේශීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා දායක වීමට චීන සමූහාණ්ඩුව එකඟ වී ඇති අතර, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිණිස ව්‍යාපෘති කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට හා දුම්රිය මාර්ග පථය සඳහා හඳුනා ගෙන ඇති ඉඩම් පවරා ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.