• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම
- ලංකා සතොස ආයතනය රුපියල් මිලියන 14,078 ක බැංකු ණයක් මඟින් 2014 අගෝස්තු මාසයේදී සහල් මෙට්‍රික් ටොන් 257,853 ආනයනය කරන ලද අතර අපේක්ෂිත පරිදි අලෙවි කරගැනීමට නොහැකි වීම නිසා ලබාගත් ණය මුදල පියවීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇත. මේ වන විට එයින් රුපියල් මිලියන 5,742 ක් පමණ පියවා ඇති අතර හිඟ පොලිය ද සමඟ තවත් රුපියල් මිලයන 8,754ක මුදලක් ගෙවීමට නියමිතව ඇත. මෙම සහල් තොගය ආනයනය කිරීම සඳහා වරාය ගාස්තු, ප්‍රමාද ගාස්තු, ප්‍රවාහන හා ගබඩා කිරීමේ වියදම්ද සහිතව රුපියල් මිලියන 17,000ක් පමණ වැය කරනු ලැබ ඇත. දැනට ඉතිරිව තිබෙන සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 3,048ක් මිනිස් පරිභෝජනයට සුදුසු නොවන බවට හඳුනාගෙන ඇත. ඉතිරි සහල් තොගය විකිණීමෙන් අපේක්ෂිත ආදායම, ගෙවිය යුතුව ඇති හිඟ ණය මුදල පියවීමට හා ලංකා සතොස ආයතන‍ෙය් එදිනෙදා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධනය සපුරා ගැනීමට ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වෙත ලංකා සතොස ආයතනය විසින් ගෙවීමට ඇති හිඟ ණය මුදල් ගෙවීමට සහ හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාරය මඟින් සලසා දීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා, ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.