• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය සමඟ එළඹ ඇති කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීම
- පැන නැඟුණු පාරිසරික ගැටලු හේතුවෙන් කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2015 පෙබරවාරි මස සිට අත්හිටුවනු ලැබ ඇති අතර, එම ව්‍යාපෘතිය පිළිබඳව විධිමත් හා පරිපූර්ණ පරිසර බලපෑම් වා‍ර්තාවක් කැඳවන ලදී. එකී වාර්තාවෙහි දක්වා ඇති නිශ්චිත සීමාවන් හා කොන්දේසිවලට අනුකූලව සහ ඉදිරියේදී නිරාකරණය කරගත යුතු කරුණු කිහිපයකට යටත්ව කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට ඉඩ දීම ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව අදාළ ව්‍යාපෘති සමාගම සමඟ ශ්‍රී ලංකා රජය එළඹ ඇති ගිවිසුම 2016 මාර්තු 15 සිට තවත් මාස හයකින් (06) දීර්ඝ කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.