• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම
- මාතර අධිකරණ සංකීර්ණය මාතර කොටුව තුළ පිහිටි වසර 100කට වඩා පැරණි ගොඩනැඟිලිවල පිහිටා ඇත. සිවිල් අභියාචනාධිකරණයක්, පළාත්බද මහාධිකරණයක්, දිසා අධිකරණ තුනක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් සහ කම්කරු විනිශ්චය සභාවකින් සමන්විත මෙම සියලු අධිකරණ ගොඩනැඟිලි එක් ස්ථානයක ස්ථාපිත කිරීම අවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා මාතර පිහිටි කොටවිලවත්ත නැමැති ඉඩමෙන් කොටසක් හඳුනාගෙන ඇත. ඒ අනුව ඉහත අධිකරණයන්ට අමතරව, ළමා මහේස්ත්‍රාත් අධිකරණයක්, වාණිජ මහාධිකරණයක් ද ඇතුළත් වන පරිදි සහ බැංකුවක්, තැපැල් කාර්යාලයක්, නීතිඥවරුන් සඳහා විවේක කාමරයක් සහ පුස්තකාලයක්, ප්‍රජා විශෝධන කාර්යාලයක්, නීති ආධාර කාර්යාලයක් සහ පවුල් උපදේශන කාර්යාලයක් ද සහිතව මාතර අධිකරණ සංකීර්ණය රුපියල් මිලියන 1,119.5ක වියදමින් ඉදි කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.