• Increase font size
  • Default font size
  • Decrease font size

2016-03-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ ඒ සඳහා මූල්‍යාධාර ලබා ගැනීම
- ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට අයත් අනුරාධපුරය, එහි පෞරාණික සුවිශේෂතාව නිසා මෙන්ම බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වන පූජනීය ස්ථාන රැසක් පිහිටා තිබීම හේතුවෙන් විශේෂ වැදගත්කමක් උසුළයි. එසේම එය උතුරුමැද පළාතේ ආර්ථික හා පරිපාලන කේන්ද්‍රස්ථානය වන අතර, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ගමනාන්තයකි. වර්තමානයේ 51,000 කට අධික ජනගහනයක් අනුරාධපුර නගර සීමාවේ වාසය කරන අතර, ඉදිරි කාලයේදී එහි ඉහළ වර්ධනයක් අපේක්ෂා කෙරේ. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන (Strategic Cities Development Project) යටතේ සංස්කෘතික සහ ස්වාභාවික උරුමයන් රැකගනිමින් අනුරාධපුර නගරයේ පූජා නගරය සහ නව නගර ප්‍රදේශ අතර තුලිත සංවර්ධනයක් ඇති කිරීමට යෝජිතය. නාගරික ජලාපවහනය වැඩිදියුණු කිරිම, පොදු ප්‍රවාහන සේවා පහසුකම් හා නාගරික රථවාහන කළමනාකරණය සහ පොදු ඉඩකඩ පහසුකම් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, දැනට ක්‍රියාත්මක උපායමාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සහ; එම ව්‍යාපෘතිය සඳහා යුරෝ මිලියන 52 ක ණය පහසුකම් සලසා ගැනීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනය (AFD) සමඟ ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.