• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදි කිරීම සහ වෛද්‍ය උපකරණ සැකසීම
- මඩකලපුව ශික්ෂණ රෝහල මඟින් නැ‍ඟෙනහිර පළාත තුළ වාසය කරන මිලියන 2 කට අධික ජනතාවකට සේවය සැපයෙන අතර, එම පළාතට යාබදව පිහිටි දිස්ත්‍රික්කවල ජනතාවට ද එමගින් සේවය සැපයේ. 2015 වර්ෂය තුළ මෙම රෝහලට රෝගීන් 95,959ක් අභ්‍යන්තර රෝගීන් ලෙස ඇතුළත් කර ඇති අතර, ඒ අතරින් 36,463ක්, එනම් 40%ක ප්‍රමාණයක් ශල්‍ය රෝගීහු වෙති. එම වසර තුළ රෝහලේ සිදු කර ඇති සැත්කම් සංඛ්‍යාව 18,378කි. එනමුදු මෙම රෝහලේ සැත්කම් සඳහා දැනට පවතින යටිතල පහසුකම් නවීන තාක්ෂණික පහසුකම් සහිතව වැඩිදියුණු කළ යුතුව ඇත. ඒ අනුව, රෝගීන් සඳහා වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් ඉන්දියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 275ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මඩකලපුව ශීක්ෂණ රෝහල සඳහා රෝගී ඇඳන් 360කින් ද ශල්‍ය දැඩි සත්කාර ඇඳන් 10කින් ද ශල්‍යාගාර 03කින් ද සමන්විත ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදි කිරීමේ හා වෛද්‍ය උපකරණ සැපයීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සහ ඊට අදාළ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය අතර අත්සන් තැබීම පිණිස වැඩබලන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.