• Increase font size
  • Default font size
  • Decrease font size

2016-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තැනැත්තන් වෙළඳාම අධීක්ෂණය කිරීම සහ මැඬලීම සඳහා ජාතික ක්‍රමෝපාය සැලැස්ම - 2015-2019
- බොහෝ විට 'නූතන යුගයේ වහල්භාවය' (modern-day slavery) ලෙස හැඳින්වෙන 'තැනැත්තන් වෙළෙඳාම' (Human Trafficking) ශිෂ්ට ලෝකය විසින් හෙළා දකින බරපතළ අපරාධයකි. විශේෂයෙන්ම කාන්තාවන් හා ළමයින් ඇතුළු තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීම, මැඬලීම හා ඊට දඬුවම් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Palermo Protocol) 2015 වසරේදී ශ්‍රී ලංකාව විසින් අපරානුමත කරන ලදී. එම සම්මුතිය මඟින් තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීම හා ඊට එරෙහි වීම, එකී වෙ‍ළෙඳාමට ගොදුරු වූ වින්දිතයින් ශාරීරිකව හා මානසිකව සුවපත් කිරීම, එම තැනැත්තන් නැවත සමාජගත කිරීම සහ එම පරමාර්ථ සාක්ෂාත් කරගැනීම පිණිස රාජ්‍යයන් අතර සහයෝගිතාව සවිබල ගැන්වීමට ක්‍රියා කෙරේ. ඒ අනුව, තැනැත්තන් වෙළෙඳාම් කිරීමේ සාහසික අපරාධය මැඬ පැවැත්වීම සඳහා බහුපාර්ශ්වීය ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම හඳුනාගනිමින් තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්යසාධක බලකාය විසින් පිළියෙල කරන ලද 'තැනැන්තන් වෙළෙඳාම මැඬලීම හා අධීක්ෂණය කිරීම පිළිබඳ පස් අවුරුදු ජාතික ක්‍රමෝපාය සැලැස්ම (2015-2019) අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, අමාත්‍ය මණ්ඩලය විසින් එම සැලැස්ම අනුමත කරන ලදී.