• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීම
- යටිතල පහසුකම් සංවර්ධනයට හා විශේෂයෙන්ම ආසියානු කලාපීය සබඳතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සැලසීම ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව පිහිටුවීමේ මූලික අභිප්‍රාය වේ. ශ්‍රී ලංකාව, මෙම බැංකුව පිහිටුවීම සම්බන්ධයෙන් වූ එකඟතා ගිවිසුමට සමාරම්භක සාමාජිකයකු වශයෙන් 2015 ජුනි මස 29 දින චීනයේ බීජිං නුවරදී අත්සන් තබන ලදී. මේ වන විට ආසියානු කලාපයේ රටවල් 37 ක් සහ කලාපීය නොවන රටවල් 20 ක් වශයෙන් රටවල් 57 ක් මෙම බැංකුවට සහයෝගය දැක්වීමට එකඟ වී ඇත. බැංකුවේ අනුදත් ප්‍රාග්ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක් වන අතර ඉන් 75%ක් සඳහා කලාපීය රටවල්ද ඉතිරි 25% සඳහා කලාපීය නොවන රටවල්ද දායක වීමට නියමිතය. සමාරම්භක සාමාජික රටවල් විසින් එළඹ ඇති ගිවිසුමට අනුව සෑම සාමාජික රටකටම සිය රටේ ආර්ථිකයේ (දළ ජාතික නිෂ්පාදිතයේ) ප්‍රමාණය මත පදනම්ව කොටස් ප්‍රමාණයක් / කෝටාවක් වෙන් කෙරේ. ඒ අනුව වෙන් කෙරුණු ශ්‍රී ලංකාවේ කොටස් දායකත්වය ඇමරිකානු ඩොලර් මිලියන 268 කි. මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පදනම් කර ගෙන ඉහත ගිවිසුම අපරානුමත කරමින් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකයෙකු බවට විධිමත් පරිදි පත්වීමට ශ්‍රී ලංකා රජයට ඉඩ ලැබෙන ලෙස පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. එමෙන්ම එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ නියෝජනයක් ලබාගැනීම සඳහා කිසියම් කලාපයකට අයත් රාජ්‍යයක් සමඟ සන්ධානගත විය යුතු නිසා එම කාර්යය සඳහා ඉන්දුනීසියාව ප්‍රමුඛත්වය ගන්නා ‘ජී’ කණ්ඩායම (Group G) සමඟ සන්ධානගත වීම පිණිසද අනුමැතිය දෙන ලදී.