• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වඩාත් කාර්යක්ෂම හා සුව පහසු දුම්රිය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණෙන් දුම්රිය මැදිරි සඳහා ප්‍රධාන මට්ටමින් සිදු කළ යුතු අලුත්වැඩියාවන් සඳහා බාහිර පාර්ශ්වයන්ගේ සේවය ලබාගැනීම
- ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මගී ප්‍රවාහනය සඳහා බලවේග කට්ටල සහ දුම්රිය එන්ජින් මඟින් අදිනු ලබන මැදිරි වර්තමානයේදී භාවිත කරනු ලබයි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනට පවත්වා ගෙන යනු ලබන සේවාව සඳහා දළ වශයෙන් දුම්රිය මැදිරි 450ක් පමණ අවශ්‍ය වන අතර, එම මැදිරි දෙවසරකට වරක් ප්‍රධාන මට්ටමේ අලුත්වැඩියාවන් (Heavy Repairs) සිදු කළ යුතුය. එම කටයුතු දැනට රත්මලාන මධ්‍යම දුම්රිය කර්මාන්තශාලාවේදී සිදු කෙරේ. දුම්රිය මැදිරිවල සිදු කළ යුතු ප්‍රධාන මට්ටමේ අලුත්වැඩියාවන් ප්‍රමාණය අධික වීම නිසා මාසිකව ප්‍රමාණවත් මැදිරි සංඛ්‍යාවක් අලුත්වැඩියා කර නිදහස් කිරීමට නොහැකි වී ඇත. ඒ අනුව, මහජනතාව වෙත ආරක්ෂිත හා සුවපහසු දුම්රිය සේවාවක් ලබා දීමේ අරමුණින්, දුම්රිය සේවකයන් විසින් දැනට සිදු කර ගෙන යනු ලබන අලුත්වැඩියාවන් එලෙසම සිදු කරන අතරම, ප්‍රධාන මට්ටමේ අලුත්වැඩියාවන් කළ යුතුව ඇති බලවේග කට්ටල හා දුම්රිය මැදිරි 200ක් කඩිනමින් අලුත්වැඩියා කර ධාවන තත්ත්වයට පත් කිරීම පිණිස පිළිගත් දේශීය කර්මාන්තකරුවන් වෙතින් තරගකාරී මිල ගණන් කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.