• Increase font size
  • Default font size
  • Decrease font size

2016-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ විවිධ ආයතන විසින් සිය සේවාවන් සැපයීමේදී පදනම් කරගනු ලබන භූගෝලීය සීමාවන්හි පවතින නොගැළපීම් නිවැරදි කිරීම
- ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහයේ කුඩාම පරිපාලන ඒකකය ග්‍රාම නිලධාරී වසම වේ. වර්තමානයේ ග්‍රාමසේවා වසම් 14,021 ක් ඇති අතර සාමාන්‍ය සිවිල් පාලන කටයුතු සඳහා මෙම ග්‍රාම නිලධාරි වසම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක් හා දිස්ත්‍රික්ක 25 ක් සම්බන්ධ වන සේ වර්ග කර තිබේ. නමුත් විවිධ සේවාවන් සපයන රාජ්‍ය ආයතන බොහොමයක් විසින් දැනට පවතින පරිපාලන සීමාවලින් බැහැරව සිය ආයතනවල අවශ්‍යතාව හා පහසුව සැලකිල්ලට ගෙන තම ප්‍රාදේශීය ඒකක පිහිටුවා ගැනීම නිසා මහජනතාවට සහ එම ආයතනවල සේවාව අපේක්ෂා කරනු ලබන වෙනත් පාර්ශ්වයන්ට අපහසුතාවන්ට ලක් වීමට සිදු වී ඇති බව පෙනී ගොස් ඇත. උදාහරණ වශයෙන් භූගෝලීය සීමාවන් පදනම් කර ගෙන ඡන්ද බල ප්‍රදේශ 160ක්,පළාත් පාලන ආයතන 336ක්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 340ක්, අධ්‍යාපන කොට්ඨාස කාර්යාල 311ක් ආදී වශයෙන් වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වීම පෙන්වා දිය හැක. ඒ අනුව විවිධ රාජ්‍ය ආයතන විසින් සකස් කරගෙන ඇති ප්‍රාදේශීය ඒකකයන් හේතුවෙන් වර්තමානයේ පවතින නොගැලපීම්, ග්‍රාම නිලධාරි කොට්ඨාස පදනම් කරගෙන සිදු කරනු ලබන භුගෝලීය සීමාවන් තීරණය කිරීම මඟින් ඉවත් කිරීම පිණිස, සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් වැඩසටහනක් සකස් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.